November 4, 2011

ආරක්ශක ලේකම්ට බැන වදින වෙබ් අඩවි අල්ලන්න CID එක ගේමේ

ආරක්ෂක ලේකම්වරයා පිළිබඳව සහ ආරක්ෂක හමුදා පිළිබඳව විදේශ රටවල සිට ක‍්‍රියාත්මක වන වෙබ් අඩවි සඳහා තොරතුරු ලබාදෙන මාධ්‍යවේදීන් සෙවීමේ මෙහෙයුමක් හමුදා බුද්ධි අංශ විසින් ආරම්භ කර ඇතැ යි වාර්තා වේ. අදාළ වෙබ් අඩවිවලට තොරතුරු ලබාදෙනවායැ යි උපකල්පනය කරන මාධ්‍යවේදීන්ගේ පසුබිම් තොරතුරු සෙවීම සඳහාත්, එම මාධ්‍යවේදීන් ඇසුරු කරන පුද්ගලයන් හා යන එන තැන් පිළිබඳව තොරතුරු සෙවීම සඳහාත් හමුදා බුද්ධි අංශ සාමාජිකයන් යොදවා ඇතැ යි වාර්තා වන අතර ඊට අමතරව වෙබ් අඩවිවලට තොරතුරු ලබාදෙනවායැ
යි උපකල්පනය කරන මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකතනවලට ඇමතුම් ලබාදී හමුදා බුද්ධි අංශයැ යි කියාගත් පිරිසක් විවිධ විස්තර විමසන බවද වාර්තා වේ.

මේ ආකාරයට හමුදා බුද්ධි අංශ සාමාජිකයන්යැ යි කියාගත් පිරිසක් තමා පසුපස පන්නමින්, දිගින් දිගටම තොරතුරු විමසීම සිය ජීවිතයට තර්ජනයක් බව පවසමින් මව්බිම කර්තෘ මණ්ඩල සාමාජික හා ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍රකලාවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සභික මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතා ඔක්තෝබර් 25 වැනි දින පොලිස් මූලස්ථානයට CIB IF 285/64 අංක යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම පැමිණිල්ල ඉදිරිපත් කිරීම සඳහා මාධ්‍ය සංවිධාන නියෝජිතයන්ද සහභාගි වී ඇත. මේ පිළිබඳව රාවය කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම පැමිණිල්ල පිළිබඳව ගල්කිස්ස පොලිස් අධිකාරිවරයා දැනුවත් කොට ඇති බවත්, ඔහු මගින් පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් මේ පිළිබඳ විමර්ශන කරන බවත්ය. මෙම පැමිණිල්ල පිළිබඳව යුද හමුදාව දැනුවත් කර ඇත්දැ යි රාවය විමසූ විට පොලිස් අධිකාරිවරයා පැවසුවේ මේ පිළිබඳ විමර්ශන පොලීසිය මගින් සිදුකරන නමුත් යුද හමුදාවට මෙම පැමිණිල්ල පිළිබඳ දැනුවත් කොට නොමැති බවයි. මේ පිළිබඳව වැඩිදුරටත් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් නිහාල් හපුආරච්චි මහතාගෙන් රාවය කළ විමසුමකදී බි‍්‍රගේඩියර්වරයා පැවසුවේ එබඳු පැමිණිල්ලක් පිළිබඳ කිසිදු තොරතුරක් තමන්ට ලැබී නොමැති බවත්, එනමුත් එවන් පැමිණිල්ලක් පොලීසිය මගින් ලැබුණොත් ඒ පිළිබඳ කළහැකි යමක් ඇතොත් කරන බවත්ය.

යුද හමුදාව කිසිදු හෝ ආකාරයක සිවිල් තොරතුරු රැස් කරන්නේදැ යි අප විමසූ විට යුද හමුදා ප‍්‍රකාශකවරයා පැවසුවේ මහජන ආරක්ෂාව සඳහා කිසියම් තොරතුරක් අවශ්‍යයැ යි සිතුණොත් ඒ පිළිබඳ තොරතුරු බුද්ධි අංශ මගින් රැස් කරන නමුත් තමන් මේ කියන අන්දමේ තොරතුරු රැස් නොකරන බවයි.

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.